BREAKING NEWS
Search

උසස් පෙළ විභාගයට යද්දි, මහමඟ අනතුරකින් පාදයක් අහිමි වූ ඉෂිනි තිම්ෂා දියණියගේ ඇහැට කඳුළක් උනන කතාව

293

කරන්දෙණිය, මහඒදණ්ඩ නගරයේ ව්‍යාපාරිකයෝ උදාවන නව දිනයට සූදානම් වෙමින් සිටියෝය. බුදු පහන දල්වමින්, සුවඳ දුම් අල්ලමින් ඔවුහු වෙළෙඳසලට ආශීර්වාදය ලබාගත්හ. පාසල් නිවාඩු දිනයක් වූ නිසාත් කොරෝනා රෝගී තත්ත්වය නිසාත් වෙනදා තරම් නගරය කාර්යබහුල නොවීය.

එක්වරම වේගයෙන් පැමිණෙන රථයක තිරිංග තද කිරීම නිසා ඇතිවෙන හඬක් නගරය පුරාම පැතිරිණි. බොහෝ දෙනකු එතැනට දිවගියේ කවරකු හෝ බසයට යට වූ බැව් සිතාය.

උසස් පෙළ විභාගයට යමින් සිටි සිසුවියක් බස් රථයට යට වී සිටියාය. ඇයව කඩිනමින් රෝහල් ගත කරන්නට රැස් වූ පිරිස කටයුතු කළහ.

මෙම අනතුරින් දැඩි ලෙස තුවාල ලැබුවේ කරන්දෙණිය, දූරවත්ත ලිපිනයේ පදිංචි ඉෂිනි තිම්ෂා නිම්නදී නම් පාසල් සිසුවියකි. ඇය සති කීපයක්ම රෝහලේ ප්‍රතිකාර ලබා පසුගියදා නිවෙසට පැමිණියාය. ඇයගේ සුවදුක් බලන්නට අපි ද එහි ගියෙමු.

නිවෙස පුරා දුව පැන යමින් නිවෙසට සිරිකත කැන්දූ දිරිය දියණියගේ එක් පාදයක් සිය සිරුරෙන් වෙන්කොට දමා ඇත. වෙළුම් පටිවලින් අනෙක් පාදය ඔතා රෝද පුටුවක හිඳ සිටින ඇය දෙස බලන ඕනෑම අයකුගේ නෙතට කඳුළක් නැඟෙන්නේය.

ඉෂිනි නිම්නදී දියණිය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක් වූවාය. කුඩා කල සිටම ගණිත විෂයට මහත් ඇල්මක් සහ දක්ෂතාවක් දැක්වූවාය. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ සඳහා ගණිත අංශය තෝරා ගත්තාය.

කුසලතා රැසකින් පිරි දීප්තිමත් අනාගතයක් තිබුණු මේ දිරිය දියණියට බොහෝ දෙනා ආදරය කළහ. ගුරු-දෙගුරු සැමගේ සිත් දිනාගත් විනීත ගති පැවතුම්වලින් යුතු සිසුවියක් වූවාය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා වතා කීපයක්ම කල්දැමුණු විභාගය සඳහා මාස, සති, දින ගෙවී දිනය එළැඹිණි.  පෙරදා පන්සලට ගොස් තෙරුවන් වැඳ පුදා පිරිත් නූලක් අත බැඳ ආශීර්වාදය ලබා ගත්තාය.

නිවෙසේ බුදුපහන දල්වමින්, තම ආදරණීය මවුපියන්  නමැද පසුගිය මස 12 වැනිදා  දින ඇය පළමුව විභාගයට පෙනී සිටියාය. ඇයගේ මීළඟ විභාග දිනය ඉකුත් මස 14 වැනිදාට යෙදී තිබිණි. පුරුදු පරිදි සියලු ආශීර්වාද ලබාගත් ඇය නිවෙසින් පිටත් වූවාය. එම ගමන අතරමඟ නතර වේ යැයි ඇය කිසිවිටෙකත් නොසිතුවාය. තම අනාගත දිවියේ පෙරට යන පාදයක් අහිමි වේ යැයි  නොසිතුවාය.

ඇය මාර්ගයේ වම්පසින් ගමන් කළේ ඉදිරියෙන් වූ පදික මාරුවෙන් මාරු වීම සඳහාය. නමුත් ඇය යන පැත්තෙන් පැමිණි යතුරුපැදියකට ඉඩදීම සඳහා ඇය මඳක් මාර්ගය පැත්තට විණි. එක්වරම වේගයෙන් පැමිණි මගීන් නංවාගත් බස් රථයක් ඇය යට කරගෙන ගියේය.

ඇයගේ ළපටි දෙපා මතින් බස් රථය ගමන් කරද්දී ඇය සිහිසුන් වූවාය.

එස්.එච්. සියල් රත්න (43) ඇයගේ ආදරණීය පියාය

අපව පිළිගත් ඔහු සිය වේදනාත්මක අමිහිරි මතකය අප සමඟ එසේ බෙදා ගත්තේය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“මම ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස කටයුතු කරනවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.  ලොකු දුව තමයි මේ අනතුරට ලක් වුණේ. අපිට කිසිදු සහනයක් කාගෙන්වත් ලැබුණේ නැහැ. දරුවගේ ප්‍රතිකාර සඳහා ලොකු මුදලක් වියදම් වෙනවා. රටේ පවතින තත්ත්වය නිසා අපට හරියට රස්සාවක් නැහැ. දරුවගේ එකම බලාපොරොත්තුව වුණේ ගුරුවරියක් වෙන එක. එයා ගණිත විෂයට හරි දක්ෂයි. කොහොම හරි ඒ බලාපොරොත්තුව වෙනුවෙන් කැපවෙනවා. එයාටයි  අනිත් දරුවො දෙන්නටයි උගන්වන්න තමයි මහන්සි වෙන්නේ.

දරුවට හොඳ කෘත්‍රිම පාදයක් සවි කරගන්න ඕනේ. ඒ වගේම ගෙදර අඩුපාඩු ගොඩක් තියෙනවා.”

රෝද පුටුවේ සිටිමින් සිය පියාගේ කතාවට සංවේදී වෙමින් කඳුළු පිරි දෙනෙතින් ඉෂිනි හඬ අවදි කළාය.

“මට අනතුර ගැන මැවි මැවී පේනවා. ඇඟේ එක්වරම බස් එක වදිනවා මට මතකයි. මට සිහිය එනකොට කකුලක් තිබුණේ නැහැ. ඒ බව දැන ගත්තාම පුදුම දුකක් දැනුණා. මම හොඳටම ඇඬුවා. මට පුදුම වේදනාවක් දැනුණා. ගොඩක් අය මගේ හිත හැදුවා. මට හැමෝම ආශීර්වාද කළා. අම්මට, තාත්තට, මල්ලිලාට  මං ගැන හරිම දුකයි. ඒ අය අඬනවිට මම කැමැති නැහැ. කොහොම හරි හිත හදාගන්න උත්සාහ කරනවා. ගෙදර හැමෝම නෑදෑයෝ, අසල්වාසීන්, යාළුවෝ මට පුළුවන් විධියට උදවු කරනවා.

මට කවදා හරි ගණිත ගුරුවරියක් වෙන්න ඕනේ. මගේ අම්මයි තාත්තයි මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. දුක් විඳිනවා. ඒ දුකට කවදා හරි සාධාරණයක් ඉටුකරන්න ඕනේ.

මගේ මල්ලිලා දෙන්නටත් හැමෝම යාළුවන්ටත් ආදර්ශයක් දෙන්න මට වුවමනාවක් තියෙනවා. ගොඩක් අය මගේ හිත හදාගන්න උපදෙස් දෙනවා. සමහර වෙලාවට ගොඩක් දුක හිතෙනවා කකුලක් නැතිව කොහොමද ජීවිතයට මුහුණ දෙන්න කියලා. ඒත් හිත හදා ගන්න උත්සාහ කරනවා. මගේ ගුරුවරු, වැඩිහිටියෝ මට අවවාද දෙනවා. මම ඒ සියල්ල හිස් මුදුනින් පිළිගන්නවා. මට උදවු කරන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඇයගේ මේ වදන් හමුවේ නෙත් කඳුළෙන් නොතෙමෙනා දෑසක් සොයා ගැනීම ඉතා අපහසුය.

ඇයගේ අම්මා වන ඉනෝකා සේනානි ගුණවර්ධන මහත්මිය

මේ අනතුරින් ගතින් මෙන්ම සිතින්ද දැඩි කම්පාවට පත්ව සිටින්නීය. ඇයද සිය වේදනාව මෙසේ පැවසුවාය.

“මගේ දුව ගෙදර කටයුතුවලදී මට ගොඩක් උදවු කරනවා. මට අසනීපයක් වුණාම සේරම කරන්නේ දුව. එයා ඉගෙනීමේ වැඩ වගේම මල්ලිලාගෙත්, ගෙදර වැඩත් හොඳින් කළා. දැන් එයා එකතැන් වෙලා මට හරියට දකුණු අත නැතිවුණා වගේ දැනෙනවා. දරුවගේ පෙර පිනකට ජීවිතය බේරුණා. බුදුන්ට, දෙවියන්ට පින් දෙනවා. මේ වගේ අනතුරක් කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රිය පදවන රියැදුරු මහතුන්ගෙන් වැඳලා ඉල්ලනවා, පාරේ යන එන අය ගැන මීට වඩා විමසිලිමත් වෙන්න කියලා. එතකොට මේ වගේ අනතුරු වළක්වා ගන්න පුළුවන්.

දරුවෙක් අංග සම්පූර්ණව හදන්න අපි කොච්චර මහන්සි වෙනවද? ඒ හදාගත්ත දෙයක් නැතිවෙනකොට කොයිතරම් වේදනාවක් දැනෙනවද? මේ හැම වේදනාවක්ම දරුවා වෙනුවෙන් දරාගෙන ඉන්නවා. දරුවගේ ප්‍රාර්ථනා අහිංසකයි. ඒවා වෙනුවෙන් සියලු වේදනාවන් දරා ගන්නවා. හැමදාම බුදුපහන තියලා ඉක්මනින් දරුවට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බෝධිපූජා පවත්වනවා.”

මේ හැඟුම්බර කතාව එෂාන් ෂවේදු හා ඉමෙත් රන්දෙව් යන සහෝදරයන් දෙදෙනා පසෙකට වී කඳුළුබර නෙතින් බලා සිටියහ. දැන් සියල්ල සිදු වී හමාරය. අහිංසක දියණියගේ දිවිය සුන්දර කරන්නට මවුපියෝ තිර අදිටනින් කටයුතු කරනු ඇත.

මේ අහිංසක කැදැල්ලට ඔබටත් සරණක් විය හැකි නම් 0776225019 යන දුරකථන අංකය අමතා පියාගෙන් තොරතුරු දැනගත හැකිය.  දිරිමත් දියණියට නිරෝගී සුවය මෙන්ම පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්…