BREAKING NEWS
Search

ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ මහා කලු පැල්ලම

295

ජොෂ් හෙසල්වුඩ්ගේ සහ පැට් කමින්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව ඇඩි‍ලේඩ්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සෙනසුරාදා (19 වැනිදා) සමත් විය. එහිදී ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 36 කට සීමාකළ ඕස්ට්‍රේලියානුවෝ තරගය දින 3 කට සීමා කිරීමටද සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් (නොදැවී 51) හයේ පහරකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය. පන්දු 63 කදී වාර්තා වූ ඔහුගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 7 ක්ද ඇතුළත් විය.

 

දෙවැනි දිනය වූ සිකුරාදා (19 වැනිදා‍) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 9 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 36 කට සීමා කිරීමට ජොෂ් හෙසල්වුඩ් සහ පැට් කමින්ස් සමත් වූහ. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හෙසල්වුඩ් ඕවර 5 ක් යවමින් ලකුණු 08 කට කඩුලු 5 ක් දවාගත් අතර කමින්ස් ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

තෙවැනි ‍දිනයේ පළමු කඩුල්ල ලෙස ජස්ප්‍රීත් බුම්රා (2) දවාගත් කම්න්ස්, ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණුක් එක්වීමට පෙර චෙතේෂ්වර් පුජාරාද (0) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. ඉන් අනතුරුව වැඩ ඇල්ලීම ඇරඹූ හෙසල්වුඩ්, කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් සමග එක්ව ඉන්දීය ඉනිමේ 12 වැනි ඕවරයේදී මායන්ක් අගර්වාල් (9) සහ අජින්ක්‍යා රහනේ (0) පිටියෙන් ඉවත් කළේය.

ඉන්දීය කණ්ඩ‍ායමේ වටිනාම කඩුල්ලට හිමිකම් කියමින් නායක විරාට් කෝලි ලකුණු 4 කට දවාගැනීමට කමින්ස් සමත් වූයේ කැමරන් ග්‍රීන් විසින් රැකගන්නා ලද අගනා උඩ පන්දුවක් සමගිනි. යළිත් ක්‍රියාත්මක වූ හෙසල්වුඩ් 18 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකදී රිධිමන් සාහා (4) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (0) දවාගැනීමට සමත් විය.

‍එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහා‍සයේ ඉන්දීය කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. මින් පෙර 1974 වසරේදී එංලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 42 කටද, 1947 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හිදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 58 කටද ඉන්දීය කණ්ඩායම දැවී ගොස් තිබිණ.

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 244

(මායන්ක් අගර්වාල් 17, චෙතේෂ්වර් පුජාරා 43, විරාට් කෝලි 74, අජින්ක්‍යා රහනේ 42, හනුමා විහාරි 16, රවිචන්ද්‍රන් අෂ්වින් 15, මිචෙල් ස්ටාක් 53/4, පැට් කමින්ස් 48/3)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – සියලු දෙනා දැවී 191

(මානස් ලැබුෂේන් 47, ටිම් පේන් නොදැවී 73, මිචෙල් ස්ටාක් 15, රවිචන්ද්‍රන් අෂ්වින් 55/4, උමේෂ් යාදව් 40/3, ජස්ප්‍රීට් බුම්රා 52/2)