BREAKING NEWS
Search

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නිරෝධායනයේ නිසා, රිය අනතුරක් සිදුකිරීමේ නඩුව කල් යයි

196

අපරික්‍ෂාකාරී අන්දමින් සිය මෝටර් රථය පදවා අනතුරක් සිදුකර පුද්ගලයකු මරණයට පත්කිරීම ගැන චෝදනා ලැබ ඇපමත සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නැමැති අය නිරෝධායන කාල සීමාවක පසුවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් යොමුකරන ලද ලිපියක් පානදුර අධිකරණයට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එන්. ජාගොඩආරච්චි මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු නඩුව ලබන මාර්තු 24 වැනිදා නැවත කැඳවීමට පානදුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (18 ) නියම කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස් ඉකුත් ජුලි 06 වැනිදා අලූයම් කාලයේ පානදුර උතුර පොලිස් වසමේ පැරණි ගාලූපාරේ හොරේතුඩුව ප්‍රදේශයේදී අපරික්‍ෂාකාරී අන්දමින් මෝටර් රථය පදවා පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි නෙවිල් පීරිස් (64) යන තැනැත්තා හප්පා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (18 දා) තෙවන වර විභාගයට ගැනුනා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ (රථවාහන) උපදෙස් ලබාගෙන ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක පාලිත කන්නන්ගර සහ සැරයන් කුමාරසිරි (41056) අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා ඇති බවත් සඳහන්.

සැකකාර කුසල් මෙන්ඩිස් නමැත්තා මාරක රිය අනතුරක් සිදුකිරීම, අනතුර කර පලායෑම, තුවාලකරු රෝහලට රැගෙන නොයෑම, අනතුරක් වළක්වා නොගැනීම සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ ඉකුත් ජුලි 07 වැනිදා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරියා.

පළමුවර නඩුව කැඳවූ අවස්ථාවේ මියගිය තැනැත්තාගේ බිරිඳට සානුකම්පිත දීමනාවක් ලෙසින් රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න ඇතුළු නීතීඥ කණ්ඩායම විසින් අධිකරණයට දැනුම්දීමෙන් පසු එදින රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබාදී තිබෙනවා.

දෙවනවර නඩුව කැඳවූ ඉකුත් සැප්තැම්බර් 09 වැනිදා ඉතිරි රුපියල් ලක්‍ෂ 8ක මුදල මියගිය තැනැත්තාගේ බිරිඳට භාර දී තිබූ නමුත් එම මුදල නැවත විත්තිකරුට ලබා දී ඊළඟ නඩු වාරයට ප්‍රථම ඇයගේ ගිණුමේ තැන්පත් කර අදාළ රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඔහු ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබුනා.

ඒ අනුව ඉතිරි රුපියල් ලක්‍ෂ අටක මුදල බැංකු ගිණුමේ තැන්පත් කර රිසිට්පත සහ වෛද්‍ය වාර්තාව ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එන්. ජාගොඩආරච්චි මහතා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

නඩුව නැවත ලබන මාර්තු 24 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.