කඩවත – කොටුව බස් රථයක් තුලදී අත්විදීමට සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් තරුණියක් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ….

352

කඩවත – කොටුව බස් රථයක් තුලදී අත්විදීමට සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් තරුණියක් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ….

අද මා 138 කඩවත-කොටුව බස් රථයකට නැඟුණේ කොළඹ යන අටියෙනි. රථය සුපුරුදු පාරේ ඉදිරියට ඇදෙද්දී මම කල්පනාවකට වැටී සිටියෙමි. එක වර ඇසුණේ කොන්දොස්තර මහතාගේ හඬයි. “මොකද බස් එක ඇතුළේ ෆොටෝ ගහන්නේ?” ඔහු මට පිටිපස අසුනේ සිටි මැදිවියේ පිරිමියෙකුගෙන් පහත් හඬින් අසා සිටියේ ය. පිළිතුරු නැත. නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවත් පුද්ගලයා නිහඬ නිසා කොන්දොස්තර මහතා ටිකක උස් හඬින් ඔහුව ඇමතුවේ ය. “ගන්නවා බලන්න ෆෝන් එක අන්තිමට ගහපු ෆොටෝ එක බලන්න.කොන්දොස්තර තරුණයාගේ උස් මහත් පෙනුමත් අනිත් මගීන්ගේ බැල්මත් හමුවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ අදාළ මගියා ජංගම දුරකථනය කොන්දොස්තර මහතාට පෑවේය. ඔහු දුරකථනයේ ගැලරිය පරීක්ෂා කර එහි තිබූ ඡායාරූපය අපට පෙන්වූවේය. ඒ මගියා එහා අසුනේ සිටි තරුණිය නොහොබිනා අයුරින් ඡායාරූප ගත කර තිබුණි. කොන්දොස්තර මහතා ගිනි කන්දක් මෙන් පුපුරා ගියේ ය. තමන්ටත් සහෝදරියන් සිටින බවත් තමාට කුමක් වුවත් ඒ මගියාව පොලිසියට හසු කර දී මිස නොනවතින බවත් ඔහු හොඳ භාෂාවෙන් කියා සිටියේය. ඉදිරියෙන් හමුවන පොලිසියෙන් බසය නතර කරන ලෙස රියදුරු මිතුරාට කියා සිටි ඔහු, වැරදිකාර මගියා තර්ක කිරීමට ආ විට පහර කීපයකින් ද ඔහුට සංග්‍රහ කළේ ය. මේ සියල්ල සිදු වෙද්දී ඡායාරූප ගත වූ තරුණිය හඬා වැටෙන්නට පටන් ගත්තාය. ඈත අසුනක වාඩි වී සිටි කාන්තාවක් පැමිණ ඇය අසල අසුන් ගත් අතර, ඇයත් අනිත් මඟීනුත් තරුණිය අස්වසන්නට වූහ. තරුණිය හඬන බව දුටු කොන්දොස්තර මහතා ද ළඟට පැමිණ ඇය අස්වැසුවේ ය. පොලිසියට යන තෙක් ඔහු අදාළ මගියා දෙස ඇස ගසාගෙන ම සිටියේ එම පුද්ගලයා පලා යාම වැළක්වීමට ය.

තමන් බස් රථයට ගොඩ වෙන් හැම දෙනා ගැන සෙවිල්ලෙන් සිටින බව පැවසූ ඔහු, මේ මගියා ගැන අමුත්තක් දැනුණු නිසා වඩාත් අවධානයෙන් සිටි බව පැවසුවේය. පොලිසියෙන් බස් රථය නතර කර රියදුරු මහතාත් කොන්දොස්තර මහතාත් වරදකරු සමඟ බැස ගියේ ගමන ටිකක් ප්‍රමාද වේ යැයි අනෙක් මගීනට පවසමිනි. නමුත් කිසිවෙකු මැසිවිලි නැගුවේ නැත. ටික වේලාවකින් කාන්තා පොලිස් නිලධාරිනියක් සමඟ රියදුරු නැවත පැමිණියේ ය. “මිස් පැමිණිල්ලක් දාන්න කැමතිද?” නිලධාරිනිය අසයි. “මිස් අපි අපේ යුතුකම කළා. පැමිණිල්ලක් දාන එක මිස්ගේ කැමැත්ත. අපි බල කරන්නේ නෑ.” රියදුරු තරුණයා කීවේ ය. කඳුළු පිස දා ගෙන ටික වෙලාවක් කල්පනා කළ තරුණිය හිස වනා ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පල කළා ය. ඇය තනිවම නොයවා ඇය අසල අසුන් ගත් කාන්තාව තරුණිය හා පොලිස් නිලධාරිනිය සමඟ පොලිසිය තුළට ගමන් ගත්තා ය. ටික වේලාවකින් බස් රථය නැවත ගමන් ඇරඹුවේ ය. මාගේ නැවතුමෙන් බසිද්දී “ඒ කරපු දේට බොහොම ස්තූතියි” කියා මා කියද්දී කොන්දොස්තර මහතා සතුටෙන් සිනාවක් පෑවේය.

පොලිසිය තුළ කුමක් වූවා දැයි නොදනිමි. චූදිතයාට ලැබෙන දඬුවම කුමක් දැයි නොදනිමි. නමුත් කාන්තාවක් දැන හෝ නොදැන හිංසාවට ලක් වෙද්දී ඇය වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් වූ පිරිමියෙකු මා දුටුවේ පළමු වතාවට ය. නාඳුනන කාන්තාවක් වෙනුවෙන් කෑකෝ ගසා මහන්සි වූවා කියා ඔහුට සැලසෙන පෞද්ගලික වාසියක් නැත. බස් රථ තුළ මානසික රෝගීන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වෙද්දී ඉඳහිට හෝ මගේ සහයට පැමිණියේ තවත් කාන්තාවකි. අහම්බයකින් හෝ අත් දුටු මේ සිද්ධිය නිසා, සමාජය ගැන බලාපොරොත්තු තවමත් සහමුලින්ම බිඳ වැටී නැති බව හැඟෙයි. වීර කොන්දොස්තර මහතාටත් රියදුරු මහතාටත් කරදරයේ වැටුණු තරුණියගේ තනියට යාමට සිය ගමන පමා කරගෙන පොලිසියට ඇදුණු කාන්තාවටත්, හදවතේ නැඟෙන ආදරබර ගෞරවය පිළිගන්වා නවතිමි. ඔවුන් සෑම දෙනාට ම සොබාදහමේ ආශිර්වාදය හිමි වේවා!