BREAKING NEWS
Search

මාව පුහුණුවීම් කරන්න ගෙදර ඉඳන් කොළඹ එක්කගෙන ආපු අප්පච්චි හෘද රෝගයක් හැදිලා මියගියා…” – චමරි අතපත්තු

107

“ඒ නිසා ඒ මානසිකත්වයත් එක්ක මට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ…”

“මගේ අම්මා තවම ඉන්නේ ගමේ, මම අම්මව බලන්න යනවා..”

ලංකාවට ආවට පස්සේ දවස් දාහතරක් නිරෝධායනය වෙන්න ඕනෙ. මටත් ඒක පොදුයි. ඒ නිසා මේ දවස් දාහතර මම හොටෙල් එකට වෙලා ඉන්නවා. මම හොටෙල් රෑම් එකේ කරන්න පුළුවන් පොඩි ව්‍යායාම් ටිකත් කරගෙන මේ දවස්වල නිදහසේ ඇතුළටම වෙලා ඉන්නවා.

චමරි සහභාගි වුණු මුල්ම තරගය තිබුණේ ඔක්තෝබර් හතර වැනිදා. ඊට පෙර චමරිට ලංකාවෙන් ඒ රටට යන්න සිද්ධ වුණානෙ. මේක ටිකක් අවදානම් ගමනක්. පුහුණුවීම් කටයුතු පවා වෙනදා තරම් කරන්න කාලයක් ලැබුණේ නැහැ නේද?

ඔව්.. ඒක ඇත්ත. ලංකාවෙන් යන්න පෙරම මමත් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළා. ඒ රටේදීත් තරගාවලිය පටන්ගන්න කලින් ඒ පරීක්ෂණ කිහිප වතාවක්ම කර ගත්තා. ක්‍රිකට්වලට තිබුණු ආසාව නිසාම මම ඒ හැමදේම සුබවාදීව දැක්කා. පුහුණුවීම් කටයුතු කරන්න පවා ලැබුණු අවස්ථාව හරිම අඩුයි. නමුත් මම මට පුළුවන් හැමවෙලේම මගේ පුහුණුවීම් කටයුතු කර ගන්න මහන්සි වුණා. ඒ රටට ගියාමත් මට තව දවස් හතක් තරගාවලිය ආරම්භ වෙන්න කලින් නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. ලංකාවෙන් ගුවන්ගතවෙලා ඒ රටට යද්දීම ඒ රටේදී අපි ඒ හැම පහසුකමක්ම හරියටම සපයලා තිබුණා. එහේ එයාර්පෝට් එකේ ඉඳන් හොටෙල් එකට යනකම්ම හැම පහසුකමක්ම අපිට දුන්නා. දවස් හතක් ඒ හොටෙල් එකේ නිරෝධායනය වෙලා තමයි අපි තරගයට සහභාගි වුණේ. ඒ හැම කාලයකදීම වරින් වර අපිට පී.සී.ආර්. පරීක්ෂණ කළා. ඒ නිසා අයි.පී.එල්. තරගාවලිය අපිට බයක් වුණේ නැහැ.

චමරිගේ මේ දෙවැනි අයි.පී.එල්. තරගාවලිය. මෙවර ක්‍රීඩාවේ අත්දැකීම් කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳයි. පළමු අවුරුද්දෙදි අපි සහභාගි වුණු කණ්ඩායමට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. නමුත් මෙවර අවසන් මහා තරගයේදි පරාජයට ලක්වීමත් සමඟ අනුශූරතාවය තමයි අපිට හිමිවුණේ. නමුත් කණ්ඩායමක් විදිහට අපි ඉතා හොඳින් දක්ෂතා දැක්වුවා. ඒ නිසා මට සතුටුයි. අයි.පී.එල්. කණ්ඩායම මට මගේ දෙවැනි පවුල (Second family) වගෙයි. ඒ හැමෝම මට මාර විදිහට සමීපයි. ඒ කණ්ඩායමේ නායිකාව ඇතුළු හැමදෙනාම මට මාර හිතවත්. හැමෝම මගේ දක්ෂතා ක්‍රීඩාංගණයේදී පෙන්නන්න ගොඩක් උදව් කළා.

මෙවර පළමු තරග දෙකේදී චමරි ඉතා හොඳ දස්කම් දැක්වුවා.බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වුණේ තරගාවලියේ වීරවරිය^ චමරි අතපත්තු වේවි කියලා.ඒ බලාපොරොත්තුව චමරිගේ හිතෙත් තියෙන්න ඇති?

තරගාවලිය ආරම්භ කරද්දීම මගේ සුපුරුදු දක්ෂතාවය දක්වන්න මම බලාපොරොත්තු වුණා. මුල් අවස්ථාවලදී මට මගේ සුපුරුදු දක්ෂතාවයට එන්න අවස්ථාව ලැබුණා. තරග දෙකක්ම මම ඉතා හොඳින් දස්කම් දැක්වුවා. හැමෝම වගේම අපේ කණ්ඩායමත් අපි ශූරතාවය වගේම මම තරගාවලියේ වීරවරිය වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් තරගයේ ශූරතාවය මට දිනාගන්න බැරි වුණා. ඒ වගේම අවසන් තරගයේදී මට මගේ දක්ෂතාවය පිතිකාරියක විදිහට කරගන්න බැරි වුණා. අවාසනාවට මාව දැවී ගියා. කොහොම වුණත් තරගාවලියේ වීරවරිය සම්මානය මම නියෝජනය කළ කණ්ඩායමේම පන්දු යවන්නියකට හිමි වුණා. මගේ කණ්ඩායමේ කෙනෙක්ට ඒක ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ලබාගන්න බැරි වුණත් ඒක අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවකට හිමි වුණා. හැබැයි අපේ කණ්ඩායමට මේ ශූරතාවය හිමිකර ගන්න බැරිවුණු එක ගැනනම් මට දුකයි.

ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වසංගතයට මුහුණදීලා තියෙනවා. මේ අවදානම් කාලයේදී දවස් ගාණක් තනියම ලංකාවෙන් වෙනත් රටකට චමරිට ගිහින් ඉන්න සිද්ධ වුණා. මාස ගාණක් චමරිට අම්මාව මුණගැහෙන්න ලැබුණේ නැහැ. දුරකථනයෙන් කතා කරද්දී ඇය නිතරම කියපු දෙයක් තිබුණා නේද?

අනේ ඔව්.. ක්‍රීඩාවට පහසු නිසාම මම ඉන්නේ කොළඹ. අම්මා ඉන්නේ ගමේ. හැබැයි ලංකාවේදී මම නිතරම අම්මාව ගිහින් බැලුවා. කොවිඩ් නිසා, නිරෝධායනය නිසා මට ගමේ යන්නත් බැහැ. මම ලංකාවෙන් ගිය දා ඉඳන් අම්මා නිතරම දුරකථනයෙන් කතා කරලා අනේ පරිස්සම් වෙන්න පුතේ කියලා තමයි කිව්වේ. දැනටත් මම හොටෙල් එකේදි කතා කළාම අම්මා කියන්නෙම ඒකමයි. අම්මට වැදගත් වුණේ මගේ ආරක්ෂාවයි. ලංකාවට ආවත් මට අම්මාව බලන්න ලැබුණේ නැහැ. ගුවන්තොටුපොළෙන් කෙළින්ම ආවේ මේ හෝටලයටයි. දවස් දාහතරක් මෙහේ නිරෝධායනය වෙලා ගෙදරත් තවත් දාහතරක් නිරෝධායනය වෙන්න ඕනෙ. කොහොමටත් ඒ දවස් දාහතරත් මම කොළඹ ඉඳලා තමයි මගේ මහගෙදර යන්නේ. එතනින් මම අම්මා එක්ක ෆෝන් එකෙන් තමයි නිතරම කතා කරන්නේ.

හෝටල් කාමරයට වෙලා මොනවද කරන්නෙ?

පුළුවන් විදිහට ව්‍යායාම් කරනවා. රූපවාහිනිය බලනවා. මගේ ලැප්ටොප් එකෙන් ෆිල්ම් බලනවා. ඒ වගේම සහභාගි වුණු මැච් ආයෙත් බලලා ඒවායේ අඩුපාඩු මොනවද කියලා බලනවා. ඇත්තටම මේ වගේ නිදහසේ සෑහෙන කාලයකින් ඉඳලා නැහැ. ඒ නිසා ඒ කාලයේදී මම ටිකක් නිදහසේ මගේ කාලය ගත කරනවා.

චමරිගේ ජීවිතේ පටන්ගත්තේ කොතැනින්ද?

මගේ ජීවිතේ පටන්ගත්තේ කුරුණෑගල ගොකරුල්ලෙයි. මම ඉපදුණේ එහේ. මම ක්‍රිකට්වලට යොමුවෙන්න ලොකුම හේතුව වුණේ මගේ මාමායි. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. මට තාම මතකයි ගෙදරදී මාමා ක්‍රිකට් මැච් බලද්දී එයාත් එක්ක මාත් වාඩිවෙලා ක්‍රිකට් බැලුවා. පුංචි කාලෙදී මට ඒ ගැන දැනුමක් තිබුණෙත් නැහැ. සමහර වෙලාවට අපේ රටේ කෙනෙක් අවුට් වෙද්දී අනිත් ටීම් එක කෑගහලා සතුටු වෙද්දී, ටී.වී. එකෙන් ඒ දිහා බලාගෙන මාත් කෑගැහුවා. මාමා තමයි මට අවුට් වුණේ කවුද? කොහොමද අවුට් වුණේ කියලා හැමදේම කියලා දුන්නේ. ඒ නිසා ටිකෙන් ටික මමත් ක්‍රිකට් ගහන්න ආස කළා. මාමා තමයි මුලින්ම මට ඒ හැම ගුරුහරුකමක්ම දුන්නේ.

චමරි පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?

මට හීන දෙකක් තිබුණා. මම ත්‍රිවිධ හමුදාවට හරියට ආස කළා. ඒ ආසාව නිසාම මගේ අප්පච්චිට මම එතනට යන එක නතර කරන්න ඕන වුණා. මම පවුලේ එකම දරුවා. ඊටපස්සේ අප්පච්චි මාමා එක්ක කතාවෙලා මාව ක්‍රිකට් පැත්තට යොමු කළා. මම ක්‍රිකට්වලටත් ගොඩක් ආසා කළා. රොමේෂ් කළුවිතාරණ, අර්ජුන රණතුංග අයියලා ක්‍රීඩා කරද්දී මට අවුරුදු හයයි. ඒ නිසාම මට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ලොකු හීනයක් තිබුණා. මගේ මාමා තමයි කවදාහරි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා හොඳට පුරුදු වෙන්න කියලා කිව්වේ. ඒ නිසා එතැන ඉඳන් මගේ ලොකුම හීනය වුණේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමයි. මම ඒ හීනය 2009 දී හැබෑකර ගත්තා.

මුලින්ම ඒ හීනය හැබෑකර ගනිද්දී මොකද හිතුණේ?

මගේ එකම හීනය වුණේ ජාතික කණ්ඩායම නියෝජනය කරලා රටට ජයග්‍රහණය ගෙන එන එකයි. අවාසනාවකට මට මගේ පළවෙනි තරගය සතුටින් ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මාව පුහුණුවීම් කරන්න ගෙදර ඉඳන් කොළඹ එක්කගෙන ආපු අප්පච්චි හෘද රෝගයක් හැදිලා මියගියා. ඒ නිසා ඒ මානසිකත්වයත් එක්ක මට ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මට වසරක් විතර ජාතික කණ්ඩායමට එක්වෙන්න බලාගෙන ඉන්න සිද්ධ වුණා. මම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා බලන්න එක වතාවක්වක් අප්පච්චිට බැරි වුණා. පළමු තරගය ක්‍රීඩා කරද්දිත් මට මතක් වුණේම මගේ අප්පච්චියි. හැබැයි පළවෙනි වතාවට මගේ නම ජාතික සංචිතයට තේරිලා කියලා පළ කරලා තිබුණු පත්තරේ ගෙදරට අරගෙන ආවෙත් අප්පච්චියි. ඒක ගෙනල්ලා බලලා තමයි අප්පච්චියි මායි කොළඹ ආවේ. අප්පච්චිගේ මරණයත් එක්ක ඒ තේරුණු තරගාවලිය ක්‍රීඩා කරන්න මට පුළුවන් වුණේ නැහැ.

ක්‍රීඩා කරද්දි අමතක නොවන සිදුවීම මොකක්ද?

ඒ වගේ අමතක නොවන සිදුවීම් දෙකක් තියෙනවා. 2012 වසරේ මගේ මුල්ම ශතකය මට අමතක වෙන්නෙ නැහැ. ලංකාවේ කාන්තා ජාත්‍යන්තර ශතකය ලබාගත්තෙ මමයි. ඒ වගේම 2017 වසරේ මම ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු එකසිය හැත්තෑ අටක් ලබාගත්තා. ඒක ලෝක කුසලාන තරගයක ලෝක වාර්තාවක් වුණා. මම හැමවෙලේම මාව විශ්වාස කරනවා. මම මගේ කණ්ඩායමේ හැම කෙනෙක්ටම කියන්නෙ play freely නිදහසේ ක්‍රීඩා කරන්න, විශ්වාසයෙන් ක්‍රීඩා කරන්න කියලයි.

ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්ද?

කුඩා කාලේ ඉඳන් මට ආසාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නයි. මට එහෙම පාසලේදී ප්‍රේමයක් තිබුණේ නැහැ. හැබැයි මට කිට්ටුම යාළුවෝ පිරිසක් හිටියා. ඒ අතරින් බොහෝ යාළුවෝ වුණේ පිරිමි ළමයි. පොඩි කාලේ ඉඳන් මමත් කොල්ලා වගේ නිසා ප්‍රේමයකට වඩා මට හොඳ යාළුවෝ හිටියා.

මේ වෙනකොට පෙම්වතියක්?
ප්‍රේමයක් තියෙනවා.බලමු..ඒක කාලයට බාර දෙමු.

කවදාහරි චමරි විවාහ වෙන කෙනා මේ ක්‍රීඩාවෙන් සමුගන්න කියලා කිව්වොත්?
මගේ පෞද්ගලික ජීවිතේ ඒ වගේ තීරණයකට යනවානම් අනිවාර්යෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙනම තමයි මම විවාහ ජීවිතයට යන්නේ. ඒ නිසා ක්‍රිකට් ජීවිතයයි මගේ විවාහ ජීවිතයයි මම පටලවාගන්නෙ නැහැ.

දිශානි ජයමාලි
දේශය