BREAKING NEWS
Search

‘‘මුදල් ගෙවීම් සිදු කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසින්. ඔවුන් මුදල් ගෙවීම් කරන්න එකඟ වී තියෙනවා. ’’ – LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් ඉවත් වෙන්න හේතුව මෙන්න

381

මට නම් තවම මුදල් ලැබුණෙ නැහැ..

මාලිංග අප සමඟ එක් කර ගැනීම වෙනුවෙන් අප සියලුම උත්සාහයන් දරනවා.

වසර නවයකට පසුව ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමට නියමිත එල්. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිත සුපිරි තරු කිහිප දෙනෙකු මේ වන විටත් තරගාවලියට සහභාගිවීම සහ නොවීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.

දේශීය සහ විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙසේ තරගාවලියට සහභාගි වීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන්නේ ඔවුන්ට කොන්ත්‍රාත්තුව මත හිමිවිය යුතු මුදල් මේ වන විටත් නොලැබී ඇති බැවින් බව වාර්තා වේ. අදාළ තරගාවලියේ පූර්ණ අයිතිය ඩුබායි හී අයි.පී.ජී.ආයතනය සතුව පවතින අතර එම මුදල් ගෙවීමද ඔවුන් හෝ කණ්ඩායම් හිමිකරුවන් විසින් සිදුකළ යුතුව තිබේ.

ලබන 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කිරීම සියලූ කටයුතු මේ වන විටත් සූදානම් වන අතර ඒ සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ ක්‍රීඩකයන් බොහෝ දෙනකු මේ වන විටත් හම්බන්තොට හෝටල්වල දින හතක නිරෝධානයකට යටත්ව සිටියි.

‘‘මට නම් තවම මුදල් ලැබුණෙ නැහැ.අපි තරගාවලියට සහභාගි වෙන්න අපේක්ෂාවෙන් ඉන්නෙ.දැන් හම්බන්තොට නිරෝධානයට ලක්වෙලා ඉන්නවා.’’යනුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් ‘දිවයින’ කළ විමසීමකදී අනාවරණය විය. මේ වන විට පල්ලකැලේ පුහුණුවීම්වල නිරත ක්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට හෝ අනිද්දා අදාළ කණ්ඩායම් සමග එක්වීමට හම්බන්තොටට පැමිණීමට නියමිතය.

තරගාවලියේ සංවිධානය කිරීම,කණ්ඩායම් විකිණීම,විකාශන අයිතිය විකිණීම ආදී සියලූ කටයුතු අයි.පී.ජී.ආයතනය විසින් සිදුකරන අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව ඇ.ඩො.1,920,000 ක්ද අනතුරුව සෑම වසරකදීම අදාළ මුදල 10% කින් වැඩි කරන ලෙස අයි.පී.ජී.ආයතනය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වසර පහකට ගිවිසුම් ගතව තිබේ.

‘‘මුදල් ගෙවීම් සිදු කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසින්. ඔවුන් මුදල් ගෙවීම් කරන්න එකඟ වී තියෙනවා.’’යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු මේ සම්බන්ධව කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මුළු මුදලින් 60% ක් පළමු තරගය සහභාගි වීමට පෙර ගෙවිය යුතුව ඇත. එසේ නොවුණහොත් සුපිරි තරු කිහිප දෙනෙකු තරගාවලියට සහභාගිවීම වැට උඩ තත්ත්වයක් නිර්මාණය කර තිබේ.ඇ.ඩො.60000 සිට ඇ.ඩො.10000 දක්වා ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට නියමිතව තිබේ. ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට ඇ. ඩො. 100000 දක්වා ගෙවන බවද කණ්ඩායම් හිමිකරුවන් පවසා තිබේ.

කණ්ඩායම් පහට පුහුණු කිරීම සඳහා පැති තණතීරු 25 ක් සහ ඒ සඳහා විදුලි ආලෝකයද,ක්‍රීඩක විවේකාගාර හතරක්ද මේ වන විටත් සකස් කරමින් පවතියි.එක් දිනකට තරග දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දහ දෙනකු තරගාවලියේ එක් එක් කණ්ඩායම් සඳහා සූදානම් කර ඇත.

ගුවන් ප්‍රවේශපත් ඇතුළු කොන්ත්‍රාත්තුවට අදාළ මූලික ගෙවීම් ලැබී ඇති විදෙස් තරු කිහිපයක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. නමුත් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු ලැබෙන කොන්ත්‍රාත් මුදල සම්බන්ධව සෑහීමකට පත් නොවී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ කාරණාව සම්බන්ධයෙන් මව්බිම පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසින්…

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.)ක්‍රිකට් තරගාවලිය ආසන්න වීමත් සමඟින් ඒ සම්බන්ධයෙන් නිකුත් වන පුවත් කෙරෙහි විශාල අවධානයක් යොමු වන පසුබිමක මෙම තරගාවලියේදී ‘ගාල්ල ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග ඉන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංකේතය ලෙස නම් කර තිබූ ලසිත් මාලිංග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය මාස 8ක පමණ කාලය තුළ ඔහුට නියමිත පුහුණුවීම්වල යෙදීමට නොහැකි වීම මෙයට හේතු වී ඇති බවයි.එමෙන්ම පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංග සහභාගි වීමට නියමිතව තිබුණද පෞද්ගලික හේතුවක් නිසා ඉන් ඉවත් වීමටද මාලිංග කටයුතු කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරු නදීම් ඕමාර් “ලසිත් මාලිංගට දිගු කලකින් තම පුහුණු කටයුතු නිසි පරිදි සිදු කිරීමේ හැකියාව නොලැබුණු බව අප සියලුදෙනා පැහැදිලිව දන්නා කරුණක්.මේ හේතුව නිසාම මාලිංග කිසියම් දෙගිඩියාවක පසුවෙනවා.කෙසේ නමුත් ඔහුව කෙසේ හෝ මෙම තරගාවලිය සඳහා සහභාගි කරවා ගැනීමට කැමැති කර ගැනීම වෙනුවෙන් අප උපරිම උත්සාහය දරනවා. ලසිත් මාලිංග වැනි කීර්තිමත් ක්‍රීඩකයකු කෙසේ හෝ අප සමඟ එක් කර ගැනීම වෙනුවෙන් අප සියලුම උත්සාහයන් දරනවා.”යනුවෙන් පවසා තිබිණි.

එමෙන්ම මේ වන විටත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සියලුදෙනා හම්බන්තොට කරා ළඟා වී ඔවුන් නවාතැන් ගන්නා හෝටල් තුළදී සෞඛ්‍යාරක්ෂණ බුබුළක් යටතේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා එක්ව ඇති බවද සඳහන්ය. කෙසේ නමුත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙතෙක් හම්බන්තොටට ළඟා වී නිරෝධායනය සඳහා යොමුව සිටින ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග එක්ව නොමැති බවයි.

තවද මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි වන ‘කැන්ඩි ටස්කර්ස්’ පිලේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා ලෙසින් හැඳින් වූ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් එල්.පී.එල්.තරගාවලියෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබුණේ පසුගිය දින කිහිපය පුරා සාකච්ඡා පැවතියද කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ගිවිසුම් සහ කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රිස් ගේල්ගේ පාර්ශ්වය හා කැන්ඩි ටස්කර්ස් බලධාරීන් අතර එකඟත්වයක් සිදුව නොමැති වීම ගේල්ගේ මෙම තීරණයට හේතු වී ඇති බවයි. එමෙන්ම තවත් වාර්තාවක දක්වා තිබුණේ මෙම තරගාවලියේ වාණිජ්‍යමය එකඟත්වය සම්බන්ධයෙන් ක්‍රිස් ගේල් සහ තරගාවලි සංවිධායකයන් අතර නිසි එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ක්‍රිස් ගේල් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය දක්වන හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සූදානම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කර තිබිණි. ඒ අනුව මෙම තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගණයේ ප්‍රධාන විකට්ටු 10ක් සූදානම් කෙරෙන බවත්, එහිදී දින 15ක් පුරා පැවැත්වෙන තරග 23 සඳහා මෙම විකට්ටු 10 යොදා ගැනීමට නියමිත බවද සඳහන් කර තිබිණි. එපමණක් නොව පුහුණ­ පැති විකට්ටු 25ක් ද මෙම තරගාවලිය වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයකි. තවද අති නවීන පහසුකම්වලින් සමන්විතව සෞඛ්‍ය අංශයන්හි නිරීක්ෂණයන් සහ නිර්දේශයන්ට අනුකූලව මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාගාර (Dressing Rooms) ද නවීකරණය කර තිබෙන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.