ලංකාවේ විදේශ ආකර්ශණ දිනාගත් සුන්දරම වෙරළ තීරයන් 05….

199

සුන්දර ස්ථාන වලින් පිරිලා තියන ලංකාව ඈත අතීතයේ ඉදන්ම මුළු ලෝකයේම ආකර්ශණය දිනාගත් සුරපුරක්.ලංකාවට විදෙස් සංචාරකයින්ගේ ආකරශණ ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ පිහිටා තිබෙන ලස්සනම ලස්සන වෙරළ තීරයන්. ලංකාවේ සමහර අය දන්නෙත් නැහැ මෙච්චර ලස්සන මුහුදු වෙරළවල් තියනවා කියලවත්.ඉතිං අද කියනනේ මේ පුංචි මුතු ඇටේ තිබෙන සුන්දරම වෙරළවල් පහ ගැන විස්තර.

නිලාවෙලි

නිලාවැලි වෙරල තීරය නැගෙනහිර පළාතේ වඩාත් දර්ශනීය වෙරළ තීරයන්ගෙන් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.මෙම අනර්ඝ නොගැඹුරු මුහුදු වෙරළ තීරය සංචාරකයන්ට මහත් අත්දැකීමක් ලබා දෙනවා.නිලාවේලි වෙරළ දකුණු ආසියාවට අයත් පිරිසිදු සුදු වැලි සහිත වෙරළ තීරයක් ලෙස ද හැඳින්වෙනවා.

නිලාවේලි වෙරළ තීරය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ සිට පුල්මුඩේ මාර්ගයේ කි.මි.15ක් පමණ වන්නට වන අතර ත්‍රිකුණාමලය නගරයේ සිට විනාඩි 30 ක පමණ ගමනකින් ඔබට එයට ළගා වීමට හැකියාව තිබෙනවා.වෙරළ තීරයේ බොහෝ තරු පංති නවාතැන් සොයා ගැනීමට ඔබට හැකි වන අතරම රසවත් මුහුදු ආහාර වේලක් ගැනීම සඳහා නියම තැනුත් තියෙනවා.ඒ වගේම මෙහි ප්‍රසිද්දියක් උසුලන පරවි දූපතේ සංචාරය සදහා විනෝදකාමි බෝට්ටු සවාරියක් ලබා ගැනීමටද හැකියාව තිබෙනවා.ශ්‍රී ලංකාව සතු ඉතාම වටිනා වස්තුවක් ලෙස නිලාවෙලි හඳුන්වන්න පුළුවන්.

පාසිකුඩා

කොළඹ සිට පොළොන්නරුවට ගොස්‌ එතැනින් මනම්පිටිය පාලම පැන වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගොස්‌ වාලච්චේනන පොලීසිය ළඟින් වමට හැරී වඩුක්‌කොඩෙයි පසුකළ පසු පාසිකුඩා මුහුදු තීරය දිස්වෙනවා.මහ මුහුදේ බියෙන් සැකෙන් තොරව නිදහසේ දිය නාන්නට,පවුලේ අය සමඟ හිතේ හැටියට විනෝද වන්නට නම් යා යුතු හොඳම මුහුදු තීරය මඩකලපුවේ පාසිකුඩා ලෙස හඳුන්වන්න පුළුවන්.ඕනෑනම් මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් නැතිව ඇවිද යන්නට හැකියාව තිබෙනවා.පාසිකුඩා සහ කල්කුඩා යනු ළඟ ළඟ පිහිටි මුහුදු බොකු දෙකකි.කොරල් පර වගේම කැස්‌බෑවනුත් මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයක්. එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය.පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියක් තිබෙනවා. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැලි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැහැ.මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකියිව තිබෙනවා. මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන දුරින් පිහිටා තිබෙනවා.මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.උදේ කාලයේ වගේම දහවල් කාලයේදීත් පවතින අව්රශ්මිය නිසා මේ ස්ථානයේ සිටීම මදක් අසීරු වූවත් සවස් කාලයේදී ඉර බසින දර්ශනය නරඹන්නටත්,තමන්ගේ විඩාව නිවාගැනීමටත් මේ ස්ථානය කදිම බව කිසිදු සැකයකින් තොරව ඔබට කියන්න පුළුවන්.

උණවටුන

උණවටුන වෙරළ තීරය සංචාරක කර්මාන්තය අතින් ඉතා වැඩි අවධානයක් යොමුකරගත් ස්ථානයන්ගෙන් එකක් ලෙස හදුන්වන්න පුළුවන්.ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණවටුන වෙරළ තීරයේ සුන්දර වටපිටාව හා ඒ අවට ඇති නිසංසල වෙරල තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි. උණවටුන රූමස්සල පිහිටා ඇති සාම විහාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම විහාර වලින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මාබල් බීච්

ඇත්තටම“මාබල් බීච්”කියන්නේ ක්‍රිකුණාමල වරායේම එක වෙරළ තීරයක්‌.මෙතැන ජල තටාකයක්‌ වගේ.ගැඹුරු නැහැ.වැලිතලාව හා ගල්පර වගේ තමයි තියෙන්නේ.හිරු එළියට ජල තලය මතින් වැටෙන රැස්‌දහරා අපූරු රටාවන් මේ නොගැඹුරු ජලතලයේ සිත්තම් කරනවා.“හරියට මාබල් ඇල්ලුවා වගේ”ඒ හින්ද තමයිලු මේක“මාබල් බීච්”වෙලා තියෙන්නේ. කොට්‌ටියාරම් බොක්‌කේ සාම්පූර්(ෆවුල් තුඩුව)ඉඳන් ත්‍රිකුණාමලය(එලිෆන්ට්‌ තුඩුව)දක්‌වා වු වක්‍රයේ හරි අර්ධය ගෙවෙන තැන මේ“මාබල් බීච්”කිව්වොත් නිවැරදියි කියලා අපට හිතෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් අයිලන්ඩ් ප්‍රදීපාගාරය වගේම(පෙර අපි කඳවුරු බැඳි) ෆවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරයත් සරළ රේඩීයව මෙහි සිට දැකබලාගත හැකි වන නිසා.

මෙතැනට ත්‍රිකුණාමල වරායේ විවරය හරි අපූරුවට දැකගත හැකියි.“එළිෆන්ට්‌(දූපත)අයිලන්ඩ්”වගේම එලිෆන්ට්‌ තුඩුවත්, වරාය කාටත් පේන හින්ද මේ වෙරළ ආසන්නයටම වගේ නාවික යාත්‍රාත් දැකගන්න හැකියාව තිබෙනවා.

“මාබල් බීච්”වල සංචාරකයන්ට වෙන්වුණු නොමිලයේ ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයකට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන නිවාඩු නිකේතනයක්‌ සහිත අවසරලත් පුද්ගලයන්ට පමණක්‌ ඇතුළු විය හැකි කොටසකුත් තියෙනවා.

ආරුගම් බොක්ක

ආරුගම් බොක්ක නැතිනම් ආරුගම් බේ කියනකොටම මතක් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි,සර්ෆින්ග්.ඇත්තටම රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා හොඳම වෙරළ තීරයක් විදියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා තියෙන ආරුගම් බොක්ක මුහුදු තීරය සීසන් එකට උද්‍යෝගිමත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙනවා.ඒ නිසා සීසන් එකට අර නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ නෑ.හැබැයි රළ මත ලිස්සා යන්න මේ වගේ මුහුදු තීරයක් තවත් නෑ.ඒ වගේම පීනන්න, නාන්න හොඳ තැනුත් තියෙනවා.සර්ෆින් කරන කෙනෙක්ටනම් යන්න තියෙන හොඳම ස්ථානය තමයි මේ.