ඩෙංගු වයිරසයට විරුද්ධව සටන් කළ හැකි පළමු මදුරුවා හදයි – ලංකාවේ සිසුවෙක්

ලෝකෙම අවධානය යොමු වූ ජාන විකෘත්ති කරනය ඩෙංගු වයිරසයට විරුද්ධව සටන් කළ හැකි පළමු මදුරුවා බිහි කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත. මෙය ලංකාවේදී සත්ත්වයකුට කළ ප්‍රථම ජාන වෙනස් කිරීමේ පර්‌යේෂණය ලෙස ඉතිහාස ගත වේ.කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිදරයකු වන කළිඳු රම්‍යසෝම සිය ආචාර්ය උපාධියේ පර්‌යේෂණ ව්‍යාපෘතිය ලෙස එම විශ්ව විද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රනිල් දසනායකගේ උපදේශකත්වය යටතේ මෙම පර්යේෂණය කර ඇත.මෙම පර්‌යේෂණය තවමත් තිබෙන්නේ පළමු මට්ටමේය. එහිදී, ඔවුන්ට හැකියාව ලැබී ඇත්තේ ඩෙංගු වයිරසයේ දෙවැනි කාණ්ඩයේ සහ සිවුවැනි කාණ්ඩයේ වයිරස සමග සටන් කිරීම පමණි. ඊළඟ අදියරවලදී අනෙකුත් වයිරස කාණ්ඩ දෙකට විරුද්ධව සටන් කිරීමට අවශ්‍ය පර්‌යේෂණ කටයුතු කරමින් පවතින බව මහාචාර්ය රනිල් දසනායක පවසයි. මෙතෙක් ලංකාවේ ජාන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගත්තේ එළවළු සහ පලතුරු නිෂ්පාදනයේදීය. එමෙන්ම, ජාන වෙනස් කොට ලංකාවේ සතුන් නිර්මාණය කිරීමට හෝ ඒ පිළිබඳව අත්හදාබැලීමක් හෝ කර තිබුණේ නැත. ඒ නිසා කළිඳු සහ මහාචාර්ය රනිල් දසනායකට ජාන වෙනස් කර මදුරුවන් නිර්මාණය කිරීම පිළිබඳව විදෙස් මහාචාර්යවරුන්ගෙන් පවා උපදෙස් ගැනීමට සිදු විය.මෙලෙස ජාන වෙනස් කිරීම සඳහා යොදාගන්නේ ඊඩිස් ඊජිප්ට් නම් මදුරු විශේෂයයි. ඔවුන්ගෙන්ද පිරිම සතුන් පමණි.කළිඳු මුලින්ම පරිගණකය ආධාරයෙන් ජාන වෙනස් කළ අණුවක ආකෘතියක් නිර්මාණය කළේය. එම අණුව සැකසීමේදී මෙය ශරීරගත කරන ඊඩිස් ඊජිප්ට්න නම් මදුරුවාගේ ජෛව දත්ත ගෙන එය සිදු කර ඇත.පසුව පර්‌යේෂණාගාරයක් තුළ බෝ කරන ලද ඊඩිස් ඊජිප්ට් නම් මදුරු බිත්තරවලට මෙම ෆ්ලොරසෙන්ට් ප්‍රෝටීන නම් ජාන අණුව මයික්‍රෝ විදිනයක් මගින් ලබා දෙයි.

අනතුරුව මදුරුවා හොඳින් වර්ධනය වූ පසුව එම අණුව මදුරුවාගේ ශරීරයේ ඇතිදැයි පරීක්ෂා කරනු ලබයි. ඒ සඳහා මදුරුවාගේ ඇසේ වර්ණය නිරීක්ෂණය කර අතර එහිදී මදුරුවාගේ ඇසේ වර්ණය රතු පැහැයට හැරී ඇත්නම් ඒ මදුරුවා ෆ්ලොරසෙන්ට් ප්‍රෝටීන ජානය ශරීරගත වූ ඩෙංගු වයිරසය මට්ටු කිරීමට බිහි වූ ජාන වෙනස් කළ මදුරු විශේෂය ලෙස හඳුන්වා දිය හැකි බව මහාචාර්ය රනිල් දසනායක පවසයි.ජාන වෙනස් කළ මදුරුවාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කරයි,”අපි නිර්මාණය කරපු ඊඩිස් ඊජිප්ට් මදුරුවා කිසියම් මනුෂ්‍යයෙක්ගේ හරි සතෙක්ගේ හරි ලේ උරා බොන වේලාවේ තමයි අපි වෙනස් කළ ජානය ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්නේ. ඒ කියන්නේ අපි ශරීරගත කරපු වෙනස් කළ ජාන අණුව මදුරුවාගේ ශරීරය තුළ කතුරක් වාගේ ක්‍රියා කරනවා. ඒ මදුරුවාගේ කලින් තිබුණු ජාන සියල්ලම විනාශ කරලා අපි ශරීර ගත කරපු ජාන අණුවලට මදුරුවාගේ ශරීරය හැඩ ගැසෙනවා. එවිට ඩෙංගු තියන අයෙක්ගෙන් ලේ උරා බිව්වත් ඒ මදුරුවාගෙන් තවත් අයකුට ඩෙංගු වයිරසය බෝ වෙන්නේ නැහැ. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ ඊඩිස් ඊජිප්ට් වර්ගයේ පිරිමි මදුරුවන් යොදාගෙන ඩෙංගු වයිරසය ව්‍යප්ත කරන ගැහැනු මදුරුවන් විනාශ කරන්නටත්.”

කළිඳුගේ පර්‌යේෂණය පිළිබඳව මේ වන විට විදෙස් විද්‍යාඥයන්ගේ පවා අවධානය පවා යොමු වී ඇත. ඔවුන් පවසන්නේ මෙම අත්හදා බැලීම් ලෝකයටම අලුත් මාවතක් විවර කළ බවයි. එමෙන්ම ලංකාවේ පමණක් නොව ලෝකයේම කළ හොඳම පර්‌යේෂණ ව්‍යාපෘතිය මෙය බව පර්යේෂණ ව්‍යාපෘතිය අධ්‍යයනය කළ විදෙස් මහාචාර්යවරුන් පවසා ඇත. මේ බඳු ලෝකයටම වටිනා පර්‌යේෂණයක් කළ පර්‌යේෂණ කණ්ඩායමේ සාමාජික කළිඳු රම්‍යසෝමට මේ වන විට ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලවලින් ඇරයුම් ලැබෙන බව කොළඹ සරසවියේ උපකුලපති චන්ද්‍රිකා එන්. විජයරත්න පවසයි.

News Editor

Next Post

ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

Tue Apr 20 , 2021
ගස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි. පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක […]
web stats