BREAKING NEWS
Search

විශේෂඥ කමිටුවේ නිර්දේශය කොවිඩ් දේහ ආදාහනය පමණයි

129

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් යන පුද්ගලයින්ගේ දේහ ආදාහනය පමණක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජනවාරි 07 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම තීරණය, කිසිදු ආගමික, දේශපාලනික හෝ පෞද්ගලික කරුණක් මත වෙනස් කිරීමට රජය සූදානම් නැති බව අමාත්‍යවරිය එහිදී අවධාරණය කළා.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් අමාත්‍යවරිය මෙසේ සඳහන් කළා.

‘දැනට කොවිඩ් රෝගයෙන් mයන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ භූමිදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ, කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේ දී එවැනි විශේෂඥ නිර්දේශයන් සාමාජීය, ආගමික, දේශපාලනික හෝ වෙනත් කිසිදු පුද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරනවා.’

වෛරසවේදීන් කණ්ඩායමක් විසින් පසුගිය දා භූමිදානය අනුමත කරමින් භාර දෙන ලද වාර්තාව පිළිබඳව එම අවස්ථාවේ දී, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් විමසනු ලැබී අතර එයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, එම වාර්තාව විශේෂඥ කමිටුව වෙත යොමු කර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් ය.

එහිදී, අමාත්‍යවරිය පැවසුවේ, ‘මේ සම්බන්ධයෙන් ඒ වයිරලොජිස්ට්ලාගේ මතය සුදර්ශනී ඇමතිතුමියට යොමු කළාම ඒ අය කැඳවලා අපි කතා කළා ඒ අයගේ තීරණය අපිට ලබා දීලා තියෙනවා. ඒ තීරණය අපේ අමාත්‍යාංශයෙන් පත් කරන ලද ප්‍රධාන විශේෂඥ කමිටුවට යොමු කරලා තියෙනවා. ඒ විශේෂඥ කමිටුව විසින් මෙය අධ්‍යයනය කිරීමෙන් පස්සේ විශේෂඥ කමිටුවේ තීරණය අප වෙත ලබා දුන්නම අපි ඒක පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් කිසිසේත්ම මං කලින් කිව්වා වගේ එවැනි නොයෙකුත් පසුබිම් මත අපිට තීන්දුවක් ගන්න බැහැ. ඒක විශේෂඥවරුන්ගේ මතය අනුව තමයි අපි ක්‍රියාකරන්නේ.’ යනුවෙන් ය.