BREAKING NEWS
Search

වීරවංසට, ගම්මන්පිලට වරාය සේවකයෝ හූ කියති

42

මේ වනවිට දින තුනක් තිස්සේ ආරම්භ කර ඇති වාරය සේවක සත්‍යග්‍රහයට විසඳුම් ලබාදීම සඳහා යැයි පවසමින් අද පස්වරු 09.00ට පමණ එහි ගිය විමල් වීරවංස මහතාට සහ උදය ගම්මන්පිල මහතාට වරාය සේවකයින් විසින් විරෝධය දක්වා තිබේ.

ඔවුන් දෙදෙනා වරාය තුළට ඇතුළුවන විටත් සේවකයින්ගෙන් විරෝධයක් එල්ලවී තිබේ. සේවකයෝ හූ කියමින් විවිද දේ කියමින් කෑ කෝගසා තිබේ. එම තත්වය අනුව ඔවුන් දෙදෙනා වරාය සභාපතිවරයාගේ කාර්යාල පරිශ්‍රයට ගොස් වෘත්තීය සමිති නායකයින් සමග සාකච්ඡා කළ යුතු බව දැනුම්දී ඇත. ඒ අනුව සේවකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී සේවකයන් අවධාරණය කර ඇත්තේ තම ඉල්ලීම වන නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා නොදෙන බවටත් වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් ආරම්භ කරණ බවටත් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවය.

එහිදී අමාත්‍ය විමල් වීරවංස සහ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා ඇත්තේ අගෝස්තු 06න් පසු එනම් මහ මැතිවරණයෙන් පසු දිනක ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට හැකි බවත් එතෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කරන ලෙසත් ය.

එහෙත් එයට කිසිඳු එකඟතාවයක් නොදැක්වූ වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ එළඹෙන 05 වෙනිදාට පෙර නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා නොදෙන බවටත් වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් ආරම්භ කරණ බවටත් ලිඛිතව ලබාදිය යුතු බවයි. එසේ ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු තම වෘත්තීය සමිති සටන අත් නොහරින බවද ඔවූහු අවධාරණය කර තිබේ.

ඉන් පසු සාකච්ඡා අවසන් වී ඇති අතර අමාත්‍ය විමල් වීරවංස සහ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල වරායේ පිටුපස පිහිටි දොරටුවකින් පිටව ගොස් ඇත.