2020 ඔලිම්පික් විනිශ්චය කිරීම සඳහා යන අපේ පර්‍රිෂකවරිය.

2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත් වෙයි.ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2021 වසරේ ජපානයේ තෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීම සඳහා තෝරාපත් කරගෙන ඇත. මෙම නිලධාරිනිය ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් වශයෙන් පොලිස් සේවයට එක් වී ඇති අතර 2001 වර්ෂයේ පොලිස් ක්‍රීඩා සාමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ද වේ.එමෙන්ම 2001 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරඟාවලි සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ ජයග්‍රහණයන් අත්කර දී ඇති අතර අඛණ්ඩව වසර 05 ක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනාගෙන ඇත. මෙම නිලධාරිනිය 2009 වර්ෂයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වු බොක්සිං තරඟ තීරක වශයෙන් සමත්ව 2011 වර්ෂයේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ඇති අතර 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාස ගත වී ඇත. එසේම මෙම නිලධාරිනිය විසින් ඉහත තරඟාවලියේදී දැක්වු දක්ෂතා මත 2011 වර්ෂයේදීම ලන්ඩන් නගරයේ පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති අතර එහි දෙවැනි දිනම අන්තර්ජාතික දෙවන පෙල විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබා ඇත.

ඉන් අනතුරුව 2013 වර්ෂයේ ඉතාලියේ කතානියා නගරයේ පැවති බොක්සිං තරඟ තීරක විනිසුරු විභාගයන් සමත්ව අන්තර්ජාතික 03 වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබා ඇති අතර බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලය ලබා ඇති දක්ෂ නිලධාරිනියක් වේ.එසේම මෙම නිලධාරිනිය ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක් වීමේ ගෞරවයද හිමිකරගෙන ඇත. කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වන විට ලෝක ශූරතා පිරිමි බොක්සිං තරඟාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරඟාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරඟාවලි රැසක් විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය විනිශ්චය සඳහා සහභාගී වු ප්‍රථම කාන්තා නියෝජනය වීම ද විශේෂත්වයකි. මෙම නිලධාරිනිය විසින් යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි, ඔලිම්පික් තේරිම් තරඟාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරඟාවලි, අග්නිදිග ආසියානු බොක්සිං තරඟාවලිය හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරඟාවලි රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ද ඉමහත් ගෞරවයක් අත්කර දී ඇත.

2017 වර්ෂයේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය ඇය විසින් හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබාගත් ප්‍රථම අවස්ථාවද වේ. එබැවින්, 2020 ඔලිම්පික් තරඟාවලිය සඳහා බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් සහභාගි වන ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනියට පොලිස්පතිතුමා ඇතුළු සියළු නිලධාරීන්ගේ සුභාශිංෂණ මෙසේ පල කර සිටිමු.

News Editor

web stats